ඉදිරි කැබිනට් සංශෝධනයේදී මර්වින්ට නව අමාත්‍යංශයක්

02 January, 2012 | | |

දැනට මහජන කටයුතු සහ මහජන සම්බන්ධතා අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ආචාර්ය මර්වින් සිල්වාට ඉදිරි කැබිනට් සංශෝධනයේදී නව අමාත්‍යංශයක් පිහිටුවා එහි වැඩ භාරදීමට තමා අදහස් කරගෙන සිටින බව ජනාධිපතිවරයා තම හිතවතුන් වෙත පවසා ඇතැයි ‘පැපරාසියා’ වෙත වාර්තාවේ.

මෙම නව අමාත්‍යංශය වන්නේ, ‘ඥාති සම්බන්ධතා’ අමාත්‍යංශයයි.

ආචාර්ය මර්වින් සිල්වාට වැඩක් කර ගැනීමට අවශ්‍ය වුවහොත්  ඕනෑම අයෙක්ට කිසිදු පැකිලීමකින් තොරව නෑදෑකම් කියාපායි. බෙන්තර ගෙඟන් එහා සෑම අයෙක්ම ඔහුගේ ඥාතියෙකි. ඔහු පැවත එන්නේ දුටුගැමුණුගේ ඥාති පරපුරෙනි. ජනාධිපතිවරයා ඔහුගේ සමීප ඥාතියෙකි. බැසිල් රාජපක්‍ෂ ඇමතිවරයාගේ බිරිඳ පුෂ්පා රාජපක්‍ෂ ඔහුගේ ඥාතිවරියකි.

ජනාධිපතිවරයාගේ දෙවන පුත් යෝෂිත රාජපක්‍ෂ, ආනන්ද අබේනායකගේ සහ චමිලා ෆොන්සේකාගේ දියණිය වන යසාරා අබේනායක සමග පවත්වාගෙන යන පේ‍්‍රම සම්බන්ධතාවය මුල් අවදියේදී කඩා දැමීමට ජනාධිපතිවරයා භාරදී තිබෙන්නේ මර්වින් සිල්වා ඇමතිවරයාටය.

‘‘බය වෙන්ඩ එපා සර්.... සතියෙන් මම වැඬේ කරලා දෙන්නම්’’ යනුවෙන් ජනාධිපතිවරයාට පොරොන්දු වී ගෙදර පැමිණි මර්වින් සිල්වා තමන්ගේ යහළුවන් අමතා ප‍්‍රකාශ කර තිබෙන්නේ, ‘‘පිස්සුද මචං.... ආනන්දය මගේ ඥාතියනෙ. අනික චමිලගෙ තාත්තා ගාමිණී ෆොන්සේකා මගේ වයිෆ්ගෙ ඥාතිය. මං  ඕක කඩන් නෑ’’ යනුවෙනි.

මේ ළඟදී වත්තල හුණුපිටිය මුස්ලිම් විද්‍යාලයේ කිසියම් විවෘත කිරීමට ගොස් ඇති මර්වින් සිල්වා ඇමතිවරයා, එම විදුහල මුස්ලිම් විදුහලක් බව අමතක වී පවසා ඇත්තේ, ‘‘මේ ළමයින්ගේ මුතුන් මිත්තන් අපේ ඥාතීන් වන බවයි.’’

මේ සියලූ කරුණු සලකා බලා ජනාධිපතිවරයා මර්වින් සිල්වාට ‘ඥාති සම්බන්ධතා’ අමාත්‍යංශය පැවරීමට තීරණය කර තිබේ.