V FM ලොක්කන්ගෙන් මර්වින්ගේ චන්ඩි පාට්
05 December, 2011 | | |වී එෆ්.එම්. ගුවන් විදුලි නාලිකාව මිලදී ගෙන ඇති මර්වින් සිල්වා අමාත්‍යවරයාගේ සමීපතම ජාවාරම්කරුවෙකු ඇමතිවරයාගේ බලතල යොදා ගනිමින් එහි සේවකයින්ට චන්ඩි පාට් දමන බව ‘පැපරාසියාට’ වාර්තාවේ. මොහු විසින් මේ වනවිට එම නාලිකාවේ වසර ගණනාවක් පුරා සේවය කළ මාධ්‍යවේදීන් ඇතුළු සේවකයින් 38 දෙනෙකු කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව සේවයෙන් පළවා හැර තිබේ.
මෙම ගුවන් විදුලි නාලිකාව මිලදී ගෙන ඇත්තේ මර්වින් සිල්වා අමාත්‍යවරයාගේ පවුලේ හිතවතකු වන සිංගප්පූරුවේ ව්‍යාපාර කටයුතු කරන කෝටිපති ව්‍යාපාරික දුමින්ද මායාදුන්න නමැති අයෙකි. ඔහු එම ආයතනයේ සභාපතිවරයා වන අතර, ප‍්‍රධාන විධායක වන්නේ බලයට පැමිණෙන සෑම ආණ්ඩුව සමගම සමීප සබඳතා ගොඩනඟා ගන්නා රුවන් සුගතදාස නොහොත් ‘ජගුවර් රුවන්’ නමැති අයෙකි.
මෙම ගුවන් විදුලි නාලිකාවේ ප‍්‍රධාන කාර්යාලය නුගේගොඩ ගංගොඩවිල මංසන්ධිය ආසන්නයේ දැවැන්ත ගොඩනැඟිල්ලක ස්ථාපිත කර ඇති අතර, එම ස්ථානය මේ වනවිට මාලිගාවත්තේ ඩොනල්ඞ්, කලූ රංජා යන මර්වින් සිල්වාගේ පාතාල සාමාජිකයන්ගේ තිත් පොළක් වී තිබේ.
තමන්ට අවනත නොවන සේවකයින් ඉවත් කිරීම සඳහා ආයතනයේ කළමනාකරණ අධ්‍යක්‍ෂවරයා වන රුවන් සුගතදාස මහතා මෙකී පාතාල සාමාජිකයන් හරහා බිය ගැන්වීම් සිදු කර ඇත. එම ආයතනයෙන් පසුගියදා එළවා දැමූ මාධ්‍යවේදියෙකුගෙන් අප කළ විමසීමකදී ඔහු ප‍්‍රකාශ කර සිටියේ, අස්වීමේ ලිපිය ලබාදෙන ලෙස එම ආයතනයට එන යන පාතාල සාමාජිකයෙකු බලපෑම් කළ බවයි. අනෙකුත් සේවකයින් ඉවත් කිරීම සඳහාද එවැනිම බලපෑම් සිදු කර ඇති බව හෙතෙම සඳහන් කළේය.
මර්වින් සිල්වා අමාත්‍යවරයා සහ වී එෆ්.එම්. නාලිකාවේ හිමිකරු දුමින්ද මායාදුන්න අතර සමීප සබඳතාවය කොතෙක්ද යත් ඇමතිවරයා විසින් ඔහුව සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලෙස පත් කර ඇති අතරම ඇමතිවරයාගේ නිල වාහනයක් මොහුගේ පෞද්ගලික පාවිච්චිය සඳහා ලබාදී තිබේ.
මෙම ව්‍යාපාරිකයාට සිංගප්පූරුවේ හා ලන්ඩනයේ ව්‍යාපාර ගණනාවක් හිමි අතර, සිංගප්පූරුවට යන මැති ඇමැතිවරුන් සහ නිලධාරීන් වෙනුවෙන් ඉතා සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක්ද පවත්වාගෙන යනු ලබයි. අප වෙත වාර්තා වන පරිදි පාතාල සාමාජිකයන්ට එරෙහි මෙහෙයුම් ආරම්භ වූ මොහොතේදී මර්වින් සිල්වා අමාත්‍යවරයාට හිතවත් පාතාල සාමාජිකයන් ගණනාවක් සිංගප්පූරුවට යවා රඳවාගෙන ඇත්තේ එම නිවාස සංකීර්ණය තුළය.
මෙම ව්‍යාපාරිකයා මර්වින් සිල්වා අමාත්‍යවරයා හමුවන සෑම අවස්ථාවකදීම ආරක්‍ෂක අංශවල සාමාජිකයන්ට ඉවත්ව යන ලෙස දැනුම් දෙන අමාත්‍යවරයා, එම රහස් සාකච්ඡා සඳහා සහභාගි කරවා ගනු ලබන්නේ ඇමති බිරිඳ වන ලූසිඩා සහ ඇමති පුත් මාලක සිල්වා යන අය පමණි.
මෙම තත්ත්වය තුළ වී එෆ්.එම්. නාලිකාවේ සේවය කරන සේවකයින් දැඩි බියකින් පසුවන අතර, කොයි මොහොතේ රැකියාව අහිමි වී යාමේ සැකයකින් පසුවන බව වාර්තාවේ. මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ එහි සේවකයෙකු අප වෙත කියා සිටියේ, මෙම ආයතනය මාධ්‍ය ආයතනයක් ලෙස නොව හමුදා කඳවුරක ස්වභාවයක් ගන්නා බවයි. බැලූ බැලූ අත සිටින්නේ පාතාල සාමාජිකයන් විසින් යොදවනු ලැබූ අවිගත් ආරක්‍ෂක නිලධාරීන් බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.
