හේමමාලා හා දන්ත කුමරු කරවල වෙළඳාමේ යවලා

07 December, 2011 | | |


මහින්දාගමනය චිත‍්‍රපටයෙහි අධ්‍යක්ෂ සනත් අබේසේකරගේ දෙවැනි සිනමා පටය වන ‘සිරි දළදා ගමනය’ නිෂ්පාදනයට මුදල් යෙදවීමට ජනාධිපතිවරයා විසින් හඳුන්වාදුන් කරවල වෙළෙන්දා සනත් මග හැර ඇතැයි ‘පැපරාසියා’ වෙත වාර්තා වේ.

අදාළ කරවල වෙළෙන්දා සනත්ගේ සිනමා පටයට මුදල් යෙදවීම මගහැරීමෙන් පසුව ඔහු මානසික ආතතියට ද ලක්ව සිටි බව වාර්තා වේ.

පුරා විද්‍යා චක‍්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමිපාණන් සනත්ගේ තත්ත්වය ජනාධිපතිවරයාට දැන්වීමෙන් පසුව එම චිත‍්‍රපටයට නිෂ්පාදකයෙකු සොයාදී සනත් ආතතියෙන් මුදවන්නැයි ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානී ගාමිණී සේදර සෙනරත් මහතාට ජනපතිවරයා උපදෙස්දී තිබේ.

ජනාධිපතිවරයාගේ උපදෙස් මත සේදර සෙනරත් මහතා එම චිත‍්‍රපටය නිෂ්පාදනය කිරීමට ජාතික චිත‍්‍රපට සංස්ථාව මැදිහත් කරගෙන ඇත.

මහාවංශය සහ දඨා වංශයට අනුව තිර රචනය කොට ඇති මෙහි තිර පිටපත ඉකුත් දා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හට අරලිය ගහ මන්දිරයේදී පිළිගන්වන ලදී.

පුරා විද්‍යා චක‍්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියන් සහ රොෂාන් රණවන, දිල්හානි ඒකනායක ද මේ අවස්ථාව සඳහා සහභාගී වූහ.

සිරි දළදා ගමනයෙහි රූගත කිරීම් ලබන මාසයේදී ආරම්භ කිරීමට නියමිත බව ද වේ අතර වාර්තා වේ.