ලිබර්ටි සිනමා හලට ස්වභාවික මරණයක්

07 December, 2011 | | |


කලක් ශී‍්‍ර ලංකාවේ හොඳම සිනමා හල ලෙස කීර්තිමත් ඉතිහාසයකට හිමිකම් කියන කොල්ලූපිටිය ලිබර්ටි සිනමා ශාලාව වර්තමානයේ පත් වී ඇති ශෝචනීය තත්ත්වය හමුවේ දිනෙන් දින ස්වභාවික මරණයක් කරා ගමන් කරමින් සිටින බව ‘පැපරාසියා’ට වාර්තාවේ.

පසුගියදා එම චිත‍්‍රපට ශාලාවේ චිත‍්‍රපටයක් නැරඹීමට පැමිණි පේ‍්‍රක්‍ෂකයෙකු මීයෙකු විසින් සපා කෑම නිසා එම පේ‍්‍රක්‍ෂකයාට රෝහල් ගතවීමට සිදු වී තිබේ.

චිත‍්‍රපට ශාලාවේ නඩත්තු කටයුතු හරියාකාරව සිදු නොවීම නිසා අද ලිබර්ටි සිනමා ශාලාව මීයන්ගේ හා කැරපොත්තන්ගේ පාරාදීසයකි.

චිත‍්‍රපටයේ මුල් දර්ශන කාලය පුරා මීයන් හා කැරපොත්තන් සමග සටන් කරන පේ‍්‍රක්‍ෂකයන්, එසේ කරන්නේ නහය වසා ගෙනය. මන්දයත්, දින ගණනකින් සෝදා පවිත‍්‍ර නොකළ වැසිකිලිවල දුර්ගන්ධය සිනමා ශාලාවට නොකඩවා හමන නිසාය.

පසුගියදා මේ පිළිබඳව සොයා බැලීමට කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය නිලධාරීන් කණ්ඩායමක් ලිබර්ටි සිනමා හලට පැමිණ ඇති අතර, සිනමා හලේ තත්ත්වය මෙම මස 24 වනදාට පෙර යථා තත්ත්වයට පත් නොකළ හොත්, ‘සීල්’ තබන බව පවසා තිබේ.

මෙම සිනමා හල මේ වන විට අයත්ව තිබෙන්නේ ඊ.ඒ.පී. චිත‍්‍රපට සමාගමටය. එම චිත‍්‍රපට සමාගමේ විධායක අධ්‍යක්‍ෂක තොෂාන් රංගන මහතාගෙන් අප මේ පිළිබඳව විමසා සිටි අවස්ථාවේදී ඔහු පවසා සිටියේ, එය සුළු ප‍්‍රශ්නයක් බවත්, ළඟදීම එය ‘පික්ස්’ කරන බවත්ය.

ඔහුගේ පිළිතුරෙන් සෑහීමකට පත් නොවූ අප, ඊ.ඒ.පී. සමාගමේ සිනමා ශාලා භාරව කි‍්‍රයා කරන සෝමා එදිරිසිංහ මහත්මියගේ කණිටු පුත් අසංක එදිරිසිංහ දුරකතනයට සම්බන්ධ කර ගැනීමට ඊයේ දවස පුරා උත්සාහ කළද, එය ප‍්‍රතිඵල රහිත විය.

මේ සම්බන්ධයෙන් ඊ.ඒ.පී. සමාගමේ චිත‍්‍රපට අංශයේ කනිෂ්ඨ විධායක නිලධාරියෙකුගෙන් විමසා සිටි විට ඔහු පවසා සිටියේ, ‘‘අසංක බොස් ෆිල්ම් හෝල් ගැන එච්චර හොයන්නේ නැහැ. එයා වැඩි කාලයක් යොදවන්නේ ජෙම් බිස්නස්වලට. බොස් අම්මගෙන් බේරෙන්න බැරිකමට තමයි මේවා බලන්නේ. ලිබර්ටි එකත් මෙහෙම නම් අනිත් ෆිල්ම් හෝල් ගැන කවර කතාද?’’ යනුවෙනි.